ලැන්ටියාගේ චින්තනය 18
දිනේෂ් ප්‍රියසාද් සහ ඩෑන් ප්‍රියසාද්
දිනේෂ් ප්‍රියසාද් යනු මෙරට සිනමාව තුළ යම් පෙරලියක් කළ අධ්‍යක්ෂවරයෙකි. ප්‍රියසාද්ගේ චිත්‍රපට වල වැඩියෙන්ම වීරයා වුණේ විජය කුමාරතුංගය. විජයගේ සහයට මෝඩයෝ දෙන්නෙකු ලෙස පෙනී සිටි හාස්‍ය රංගනයකින් මුසපත් කරණ බන්දු සහ ටෙනිසන්ද ප්‍රියසාද්ගේ චිත්‍රපට වල සජීවි චරිත විය.
"අයුක්තිය අසාධාරණය රජයන ලෝකේ යුක්තිය සාධාරණය වෙනුවෙන්" යන වචන ටික ප්‍රියසාද්ගේ චිත්‍රපට වලත්, විජයගේ කටේත් නැති වු අවස්ථා නැත. චිත්‍රපටය මැදදී විජයට ටෙඩී විද්‍යාලංකාරගේ සටනට නියත වශයෙන් මුහුණ දිය යුතුය. බිසාව් බිසාව් යන ශබ්දය සමඟ විජය සටන ආරම්බයේ කුජීත වුණත් සටන අවසන වන විට ටෙඩීට අම්බානක නෙලා අහවර කරන්නේය. අවසානයේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වු සබීතා හෝ ගීතා සමඟ විජය එකතු වන අතර බන්දු සහ ටෙනීගේ මෝඩ කෑල්ලක් සමඟ චිත්‍රපටය අවසාන වන්නේ ගැලරියේ විසිල්ද සමඟය. ඒ දිනේෂ් ප්‍රියසාද්ගේ වැඩය.
මේ කියන්නට යන්නේ තවත් ප්‍රියසාද් කෙනෙක් ගැනය. මේ ඩෑන් ප්‍රියසාද්ය. මොහුද නොම්බර එකේ බයිස් කෝප් කාරයෙකි. මොහුගේ බයිස් කෝප් තුළින් අමුතුම ආතල් එකක් ලබාදෙන අතර මේ වන විට චිත්‍රපටය සම්පූර්ණයෙන් පෙන්වා අහවරය. කතාව සිංහල කම ගැනය. අධ්‍යක්ෂණය, තිර රචනය, ප්‍රධාන නළුවා නිළිය, හාස්‍ය නළු නිළියන් පමණක් නොව දුෂ්ටයාගේ චරිතයද කළේ මේ ප්‍රියසාද්ය.
එකවර කොහේදෝ සිට ස්මතු වූ ඩෑන් සිංහලයා රැක ගන්නත්, බෞද්ධයා රැකගන්නත් ඉදිරිපත් වුණේය. කිසිඳු රැඟුම් පාලක මණ්ඩලයක ඉදිරිපත් නොවී බාධාවකින් තොරව චිත්‍රපටය ෆේස් බුකියේ තිරගත වුණේය. ඩෑන් යකෙක් වගේය. සිංහලයා වෙනුවෙනුත්, මානව හිමිකම් වෙනුවෙනුත් කෑ ගසමින් දඟලන්නට වුණේය. ඩෑන්ගේ චිත්‍රපටය අලුත් අත්දැකීමක් නිසා ගැලරියේ පිරිස අසුන් වලින් නැගිට නැරඹුවේය. ඒ වන විට ජාතිවාදී චිත්‍රපට කිහිපයක් විකාශනය වෙමින් තිබූ අතර එහි අධ්‍යක්ෂවරු මේ චිත්‍රපටය දැක කැළඹී ගියහ. ඒ අනුව සූක්ෂමව එම අධ්‍යක්ෂවරුද ඩෑන්ගේ චිත්‍රපටයට වෙත එක්රොක්වු අතර පැමිණි පිරිස ප්‍රියසාද්ගේ චිත්‍රපටයට අමතර ජවනිකා එක්කළේය. මෙතෙක් තනියම රඟපෑ චිත්‍රපටයට දුෂ්ඨයෙක් එකතු කළේය. ඒ තවුහීඩ් ජමාඩ් සංවිධානයේ අන්තවාදී මරක්කලයාය. ඒ අනුව ප්‍රියසාද්ගේ චිත්‍රපටය තුළ සිංදු පහයි, ෆයිට් දෙකයි, විසිල් ගොඩයි තැනට පත්විය.
මේ නිසා ප්‍රියසාද් නොහිතූ ලෙස ජනප්‍රිය වූ අතර "අයුක්තිය අසාධාරණය රජයන ලෝකේ යුක්තිය සාධාරණය වෙනුවෙන් විජේ" බවට ඩෑන් ප්‍රියසාද් පත්විය. උණ හොඳටම වැඩිවිය. වීරයා වීරයාගෙන් එහා ගොස් ගොනාට ඇන්ඳවීමේ තැනට පැමිණියේය. අනික් අධ්‍යක්ෂවරු ඩෑන්ගේ චිත්‍රපටයට අවසානය ලියා දුන්හ. නොසිතු ලෙස ඩෑන් ඇතුළට ගියේය. ඒ ජවනිකා ජාතිවාදයට අතවැනීමක් නිසාය. රැඟුම් පාලක මණ්ඩලය විසින් චිත්‍රපටයට පමණක් නොව අධ්‍යක්ෂවරයාටද තිත තැබුවේය. වැඩේ දෙල් වුණේය. දවස් 14 ක් මහ උළු ගෙදරය. බලන්න එකෙක් නැත. සම අධ්‍යක්ෂවරු කළු නික විය. වීරයා කුජීත විය. එතනින් එහා වීරයාට මක්ක වුණාද කියා ආරංචියක් නැත.
කෙසේ වෙතත් පසුගියදා ඩෑන් නිදහස් විය. එසේ නිදහස් වී පැමිණි සැනින් ඔහු සියලුම සංවිධාන වල රෙදි ගැලෙව්වේ අපි දැන සිටි එහෙත් ඔහු නොදැන සිටි කතාවල් රැසක් සමඟය. රට වෙනුවෙන් පෙනී සිටින සංවිධාන බොරුකරයින් බව ඔහු පුන පුනා කිවේය. එය ඩෑන් අද දැන සිටියත් අප ඩෑන්ට කලින් දැන සිටියෙමු. ඩෑන් වැනි අය නව සංවිධාන හරහා ඉදිරියට පැමිණීම සැබවින්ම අනෙකුත් සංවිධාන වලට ගැටලුවක් නිසා සූක්ෂම ලෙස ඩෑන්ට බෙහෙත ලබාදුන්නේය. අවසානයේ ඩෑන්ට වෙච්චි දේ පවා කවුරුත් දැන සිටියේ නැත. ඒ මේ රටේ හැටිය. සැබවින්ම සිංහල ජාතිය වෙනුවෙන් යැයි ඉදිරිපත් වන්නෝ සිය බඩගෝස්තරවාදයට මිස වෙනත් වාදයකට නොවන වග සැම දෙනා සිහි තබා ගත යුතුය. නිදහස් රටක් තුළ ජාතිවාදය ඇති කිරිම තුළම ඇත්තේ වෙනත් කිසිඳු වාසියක් නොව මුදල් ගරා ගැනීමම පමණය. ඒ නිසා ඩෑන්ගේ කතාව සියලු දෙනාට මග කියන කතාවක් කරගත යුතුය. එසේ නොවුවහොත් තව තවත් ජාතිවාදයේ හතු රට තුළ පිපෙනු ඇත.
Thanks for coniirbuttng. It's helped me understand the issues.
ReplyDelete