Breaking News

ලැන්ටියාගේ චින්තනය 19

හොයාගන්න බැරි හම්බන්තොට හරි වැරැද්ද

 

මේ දිනවල ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ හම්බන්තොට සිදුවු අහඹු සිදුවීමය. මෙම සිදුවීම පිළිබඳව නොයෙකුත් දෙනා නොයෙකුත් අදහස් පළකරති. එහෙත් තවමත් මෙම සිදුවීමේදී කවුද හරි, කවුද වැරදි යන්න නිෂ්චිතවම හෙළිවී නැත. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මාධ්‍යවේදීන් මුවහමට තඩිබාන්නා සේ ආණ්ඩුවට විරෝධය එල්ල කරති. ආණ්ඩුව ඇතුළු තව පිරිසක් එම සිද්ධිය නන්නත්තාරේ ෂේප් කරන්නට ගොස් අම්බානක හොම්බ බිම ඇණගෙන ඇත. කෙසේ වෙතත් අප මේ කතා කරන්නට යන්නේ මෙම සිද්ධියේ තුන්වන පාර්ශවයක් ලෙසය.


 


වරායේ රැකියා සම්බන්ධ ගැටලුව පැන නගින්නේ හම්බන්තොට වරාය රජය විසින් චීනයට පැවරීමට යන කාරණයත් සමඟය. එවකට සිටි රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජපක්ෂලාගේ බලකොටුව වන හම්බන්තොට බේරාගැනීම සඳහා හම්බන්තොටට වරායක් සහ අනෙකුත් අඩුම කුඩුම ගොඩනැගූ අතර ඒ අඩුම කුඩුම රැකබලාගන්න ගමේ කොල්ලන් සඳහා රැකියා ලබාදීමටද රාජපක්ෂලා නොපැකිලිව ඉදිරිපත් වූහ. එසේ රැකියා ලබාදුන් බොහොමයක් තරුණයෝ මැදමුලන, වීරකැටිය, තංගල්ල, සූරියවැව, හම්බන්තොට ආදී ප්‍රදේශවල රාජපක්ෂලා වෙනුවෙන් දරදිය ඇද්ද උන් වූහ. මෙම තරුණයන්ට වරායේ රැකියාවක් ලැබීමම රාජපක්ෂලා හට මල්පහන් පූජා කරන හේතු කාරණයක් වුහ. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා රාජපක්ෂලා මෙම රැකියා ලබාදුන්නේ මෑන්පවර් කොම්පැණියක් හරහාය. මෙම කොම්පැණිය ඊනියා රාජපක්ෂලාගේ ගහේ එක් පතුරක් විය. ගමේ කොල්ලන් හට රාජපක්ෂලා පැවසුවේ වසර තුනක් සඳහා මෙම සමාගම යටතේ බඳවා ගන්නා බවත්, ඉන්පසුව රජයේ රැකියා සඳහා ස්ථීර කරගන්නා බවත් කියාය. එසේ බඳවාගත් තරුණයන්ගේ පඩියෙන් කොටසක් රාජපක්ෂලා සොරාගත්තේ පෙනි පෙනීමය. මේ සියලු සිද්ධිය පිටිපස්සේ සිටියේ නාමල් රාජපක්ෂය.

 




කෙසේ වෙතත් රාජපක්ෂලා ගෙදර යාමත් සමඟ මොවුන්ගේ රැකියා යම් අනතුරකට වැටුණේය. ඒ නිසා එම තරුණයන්ට හවුහරණක් තිබ්බේ නැත. මේ අතර වරායට චීනය අත ගැසීමත් සමඟ මොවුන්ගේ අවශ්‍යතාවය ඕනෑ නැති වන තැනට ආවේය. ඒ අනුව රැකියා අහිමිවන තැනට පැමිණි අතර මෙම අහිංසක තරුණයන් රෙදි උස්සාගෙන ගියේ නාමල් හමුවීමටය. තත්ත්වය දරුණු යැයි හඳුනාගත් නාමල්ගේ යෝජනාව වූයේ වෘත්තීය අරගලයකට යායුතු බව කියාය. ඒ අනුව ඔවුන් වෘත්තීය අරගලයකට ගියහ. මෙය රාජපක්ෂලා ලබාදුන් ගොබ්බ උපදෙසක් වූ අතර මේ නිසා ලැබෙන්නට ගිය දශමයක හෝ අවස්ථාවද ගිලිහී යන අවස්ථාවක් විය. එනම් කිසිඳු පුද්ගලික සමාගමක් වෘත්තිය අරගලකරුවන්‍ට රැකියා ලබානොදෙන නිසාය. ඒ අනුව රාජපක්ෂලා මීළඟට ගොන් උපදෙසක්ද දුන්හ. ඒ වරායට පැමිණි නැව් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලෙස කියාය. ඒවන විට විදෙස් නැව්දෙකක් වරායේ නැංඟුරම්ලා තිබූ අතර මෙම උද්ඝෝෂකයන් කඹ යොදා එම් නැව් බලහත්කාරයෙන් ජැටියේ ගැටගැසුවේය. මේ නිසා එම නැව්වල කාර්ය මණ්ඩල පවා තැතිගත් අතර ඔවුන් මේ පිළිබඳව අදාල රටවල් වෙතත්, මව් සමාගම් වෙතත් දැනුම් දුන්නේය. මේ තත්ත්වය මත රජය දැඩි අපහසුතාවයකට පත්වූ අතර එම නැව් සඳහා මිලියන ගණනින් ප්‍රමාද ගාස්තුද ගෙවිමට සිදුවිය. මේ හේතුවෙන් රජය අවසාන තීරණය වුයේ නැව්දෙක කෙසේ හෝ බේරාගැනීමය.

 




සමුදුර නීතිය යටතේ මුහුදේ ඇති නැවක් බලහත්කාරයෙන් රඳවාගෙන ඇත්නම් එය මුහුදු කොල්ලයක් ලෙස හැඳින්වේ. එසේ වූ විට රට අභ්‍යන්තරයේ වූ කිසිඳු ආරක්ෂක අංශයකට මැදිහත් විය නොහැකි අතර මැදිහත් විය හැකි එකම පිරිස වන්නේ නාවික හමුදාව පමණි. ඒ අනුව නැව්දෙක බේරාගැනීමේ මෙහෙයුම නාවික හමුදාවට පැවරෙන අතර මේ සඳහා නාවික හමුදාපතිවරයාම සහභාගි වන්නේ අදාල මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහාය.

 




කෙසේ වෙතත් නාවික හමුදාපතිවරයා එම අවස්ථාවට සහභාගිවන විට උද්ඝෝෂකයන් දැඩි විරෝධයක් එල්ලකරනු ලබන්නේ මෙය තමන්ගේ ප්‍රශ්නයක් ලෙස කියාය. එහෙත් නාවික හමුදාපතිවරයා සහභාගි වන්නේ ඔහුට අයත් වගකීම ඉෂ්ඨ කිරිම සඳහාය. මෙය ඉතාම බරපතල අවස්ථාවක් වන අතර නාවික හමුදාපතිවරයාට රැවුලත් කැඳත් දෙකම අවශ්‍ය මොහොතක් විය. එවැනි අවස්ථාවක කිසිඳු මාධ්‍යයක් අදාල ගැටුම මැද්දට අවතීර්ණ නොවන අවස්ථාවක හිරු මාධ්‍යවේදියා ගැටුම අභ්‍යන්තරයට යන්නේය. නාවික හමුදාපතිවරයාත් ඔහුගේ සේනාවත් හැසිරෙන ආකාරය වීඩියෝකරන විට නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියා සමඟ පැටලෙන්නේ පීඩනයත් සමඟිනි. කෙසේ වෙතත් එය මාධ්‍යවේදියාගේ වැරැද්දකි. ගැටුම්වාර්තාකරණය වැනි සියුම් සංවේදී අවස්ථාවල මාධ්‍යවේදියා තම හැකියාව පෙන්වීමට ගැටුම අභ්‍යන්තරයට යන්නේ නැත. එය ආචාරධර්ම වලට පටහැණිය. මාධ්‍යවේදියා සිද්ධියට බාහිරින් සිට කටයුතුකරනවා විනා එයට මැදිහත් කරුවකු වීම වැරැද්දකි. ඒ අනුව නාවික හමුදාපතිවරයාගේ වැරැද්දක් නැත. මෙතන වැරැද්ද ඇත්තේ එම සිද්ධියේ සහ එම සිද්ධිය තුළ හැසිරීමේ අවුලකි.

 


ඒ අනුව මෙම හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙන් නොයෙකුත් චෝදනා එල්ල වුවත් ඇත්ත එය නොවන බව අප කවුරුත් දැනගත යුතුය. ඇත්ත නම් කැමරාවට අසුවන දෙයට වඩා එහා ගිය පරාසයකි. එසේ නොපෙනුණ පරාසය අප මෙලෙස ඔබට පෙන්වු අතර දැන් කවුරු හරිද නැද්ද යන්න ඔබට වටහා ගත හැක.

No comments