Breaking News

ලැන්ටියාගේ චින්තනය 06

මේ මොන නැවිලිද අනේ රාජපක්ෂලා එක්ක බලද්දි

"පොලිස්පතිතුමා නීතිය පොඩ්ඩක් නවලා තියෙන්නේ. මම ගිහින් බලලා එන්නම් කොච්චරක් නවලද කියලා" එහෙම කියාගෙන නාමල් එදා එෆ්සීඅයිඩී යට ගියේ හරියට නිකන් රාජ කුමාරයෙක් වගේ.


හැබැයි එහෙම කියාගෙන ගිය නාමල් ආයි ආවේ අස්සයා මැරිච්ච කව්බෝයි වගේ මූණ අධෝමුඛය කරගෙන. ඇත්තටම යනකොට ගිය ගැම්ම එනකොට නාමල්ට තිබුණේ නෑ. සමහර විට බය වෙලා වෙන්නත් ඇති. කොහොම උණත් නාමල් ඒ කිව්ව කතාව ගොඩක් වැදගත් කතාවක්.


2005 ආරම්භ වෙලා 2015 ඉවර වෙච්ච රාජපක්ෂ යුගය ගැන නාමල්ට ඉක්මනට අමතකවීම ගැන ඇත්තටම අපිට පොඩි දුකක් තියෙනවා. නාමල් අද පොලිස්පතිතුමා නීතිය නවලා කියලා කියන්නේ කටින්ද කියලත් පොඩි සැකයක් තියෙනවා.


කොහොම උණත් එදා තාත්තලා, පුතාලා, බාප්පලා එකතු වෙලා නීතිය නවපු නැවුම් ගැන පොඩ්ඩක් කියන්න කියලා හිතුණා. එදා රාජපක්ෂවරු නීතිය නැව්වේ නෑ. එයාලා නීතිය නවලා, අඹරලා, පොඩිපට්ටම් කරලා, කෑලි කෑලි කඩලා කට්ටිය බෙදාගෙන කෑවා. සරලව කිව්වොත් නවලා ඇරියා. ඒ කාපු කෑම කොච්චරද කිව්වොත් අන්තිමට රාජපක්ෂලට උස්මුරුත්තාව හැදිලා හිටියේ.


රාජපක්ෂලා ඉස්සෙල්ලාම නීතියට අත තිබ්බේ අද ඊයේ නෙමෙයි. ජූලම්පිටියේ අමරෙලා, චන්ඩි මල්ලිලා දාගෙන පිස්සු කෙලින්න පටන් ගත්තේ අතීතයේ ඉඳන්. එකවරක් තංගල්ල බන්ධනාගාරයේ තිබ්බ විරෝධතාවයක් නවත්ත ගන්න බැරුව ගියා. එතකොට බන්ධනාගාර ඇමති හිටියේ ජෝන් අමරතුංග. අන්තිමට ජෝන් වැඩේ නවත්තන්න එක්කන් ගියේ මහින්දව. මහින්ද බන්ධනාගාරේ දොරගාවට ගිහින් කෑගහලා කිව්වා "අමරේ මම ආවා" කියලා. අන්තිමට මිනීමැරුම්, දූෂණ, බියවැද්දීම් ආදී අපරාධ වලට කිරුළු පැලැන්ද ජූලම්පිටියේ අමරේ එළියට ඇවිත් මහින්ද නිසා බන්ධනාගාරේ විරෝධතාවය නැවැත්තුවා. ඒ බලය නැති මහින්දගේ නීතියේ නැවිලි.


කොහොම හරි බලය ආවනේ. ඊට පස්සේ මහින්ද මොකද කළේ. ඉස්සෙල්ලම මහින්දට හිතවත් විනිසුරුවරු ටික හැම අධිකරණයකටම දාගත්තා. ඊට පස්සේ නියම සූකරයෙක් වෙච්චි මහින්ද බාලසූරියව දාගත්තා පොලිස්පති කරලා. ඔන්න ඊට පස්සේ වැඩේ පටන් ගත්තා. රට වටේ ඉන්න අහිංසකයන්ට තැලුවා, ගැහුවා, මැරුවා. හැබැයි සාක්ෂි නෑ. නඩු නෑ. හොඳම උදාහරණය තමයි මර්වින් සිල්වා. රූපවාහිණි සංස්ථාවට ගිහින් ගැහුවා. අන්තිමට කිසි නීතියක් නෑ. ඊට පස්සේ මිනිහෙක් ගස් බැන්දා, ඊට පස්සේ සියතට, සිරසට, ඊ නිව්ස් එකට ගිනි තිබ්බා, කටුනායකදී රොෂේන් චානක මැරුවා. කෝ කරපු උන් ඇල්ලුවද ? නෑ. ඇයි ඒ? මේ ඔක්කොම රජගෙදර පරෙයියන්ගේ වැඩ නිසා. ඔය රොෂේන් චානකට වෙඩිතියන්න ඕඩර් දුන්න ලොක්කා අන්තිමට පොලීසියේ දෙවැනියා වුණා. ඒ වගේම පොලිස්පති බාලසූරියලගේ ගෙදර ඒ දවස් වල හැමදාම පාටි. කවුද බොන්න දුන්නේ කොලොන්නාවේ දුමින්දලා. ඒවා රාජපක්ෂලා දැනගෙන වෙච්ච දේවල්.


ඊට පස්සේ අලුත් පොලිස්පති කෙනෙක් ආවා. මිනිහා අමාරුකාරයා නිසා තව සූකරයෙක් දාගත්තා බස්නාහිරට අනුර සේනානායක කියලා. ඔන්න ඊට පස්සේ මොකද වුණේ? එතකොට තමයි නියම සෙල්ලම පටන් ගත්තේ. ආමි එකේ හිටිය කීපදෙනෙක් යොදාගෙන පටන්ගත්තා සුදුවෑන්. හැබැයි එලෙව්වේ ඔක්කොම ආණ්ඩු විරෝධී උන් පස්සේ. මාධ්‍යවේදීයෝ ආරක්ෂක අමාත්‍යංශයට ගෙනල්ලා තර්ජනය කළා. ඒ ගෙනල්ලා අහපු නැති උන්ව ඉස්සුවා. උස්සලා ගැහුවා, කොන්ඩේ කැපුවා. ආණ්ඩුවට බරක් වෙච්චි උන්ව මැරුවා.


ඊට පස්සේ හොඳම නැවිල්ල කලේ රටේ අගවිනිසුරුවරියට. දිවිනැගුම පනතට විරුද්ධ වුණා කියලා එලෙව්වා සතෙක් වගේ. වීරවංශලා ශිරාණි බන්ඩාරණායකට ගැහුවේ හරි වීරකමක් කියලා හිතාගෙන. නමුත් වීරවංශලට මහින්ද කියාදුන්නේ නෑ ඔය කරන්නේ නපුංසක වැඩක් කියලා. අන්තිමට ඒ ගෑණිව ගෙදර යවලා බජව් දැම්මා. ඊට පස්සේ අධිකරණ සේවා කොමිෂමේ ලේකම්ට ගල්කිස්සෙදි ගැහුවා. ගහලා බය කළා. ඒ විතරක්ද ඡන්දේ දින්න ගමන් සරත් ෆොන්සේකව හිරේට දැම්මේ උස්සගෙන ගිහිල්ලා. දැන් නාමල් බලන්න බත් එකත් අරගෙන මහින්දට යන්න පුළුවන්. ඒත් ෆොන්සේකව බලන්න අනෝමට යන්න දුන්නේ නැති කාලයක් තිබුණා. අන්තිමට ෆොන්සේකට සමාව ගන්න "අපෙන් සමාව ගන්න වෙයි "කියලා කියන්න තරම් නාමල්ලා පොරවල් උණා.


ඒ විතරක්ද පුතාලා ටික රගර් ගහද්දි නේවි එකේ කොල්ලෝ අරගෙන ගියා චියර් දාන්න. සෙල්ලම් කරලා පැරදුනාම කෝචර්ගේ නහය කැඩුවා පුතාලා ටික. එතකොට නීතිය නෑ. ටීම් එකේ කොල්ලෙක් උඩ එනකොට ඌව ගහලා මැරුවා. අන්තිමට ඒවා රිය අනතුරු. හැබැයි ඒවා වලට නීතියක් නෑ.
අන්තිමට රාජපක්ෂලා ඒ අයගේ උන්ටත් ගැහුවා. අවුරුදු ගාණක් බෙහෙත් කරපු ඒලියන්ත වයිට්ගේ ගෙදරට වෙඩි තිබ්බෙත් ඔය රාජපක්ෂලා. මර්වින්ගේ පුතාට ගැහුවෙත් ඒ කට්ටියමයි. නමුත් ඒවා වලට නීතියක් තිබ්බේ නෑ. ඒ නිසා නාමල් හොඳ කතාවක් එදා කිව්වේ.


කොහොම උණත් රාජපක්ෂලා නීතියට ඇරපු ඇරලි මෙහෙම කියන්න බෑ. ඒකට දවස් දෙකක්වත් නිවාඩු දාන්න වෙනවා. ඒත් එක දෙයක් කියන්න ඕන. පොලිස්පතිතුමා නීතිය නැව්වේ හොරු අල්ලන්න. හැබැයි රාජපක්ෂලා නීතිය නැව්වේ මිනීමරන්න. ඒ නිසා නාමල්ට කියන්න තියෙන්නේ "මේ මොන නැවිලිද අනේ රාජපක්ෂලා එක්ක බලද්දි" කියාය.

1 comment: