Breaking News

ලැන්ටියාගේ චින්තනය 04

මනමේ කෝ විජය !!


විජය නන්දසිරිත් යන්න ගියා. මනමේ විදිහට පටන් ගත්ත විජය අන්තිමේදී යන්න ගියේ සුහද කොකා වෙලා. නිකන් නෙමෙයි රටම ඉල ඇදෙන්න හිනස්සලා. ඇත්තටම විජය නන්දසිරි එහෙම මැරෙන්න ඕන කෙනෙක්ද?



කට්ටිය එක එක ඒවා කියයි. කමක් නෑ මම කියන්නම් කතාව. විජය කියන්නේ මේ කලාවේ ඛේදවාචකය තුළ නියම සංඛේතය. නැත්නම් නියම උදාහරණය. විජය කියන චරිතය අද කාලේ ගොඩක් අය දන්නේ 'කොමඩි කිං' කියලා. බුකිය පුරා ගොඩක් ෆෑන්ස්ලා විජයගේ වියෝවත් එක්ක එයාලගේ දුක බෙදාගෙන ස්ටේටස් දාලා තිබුනෙත් එහෙමයි. ඒ ඇයි? විජයව ගොඩක් දැක්කේ අද කාලේ අය හිනා කෑලි වල. නමුත් විජය කියන්නේ කොමඩියක් නෙමෙයි. විජය කියන්නේ ඇත්තටම සීරියස් කැරක්ටර් එකක්.



විජයගේ රංගනය අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. ඔහු ඉස්සෙල්ලම රංගනයට එකතු වන්නේ 1966 දී. ඒ 'විදුර දිව' කියලා වේදිකා නාට්‍යකින්. එතනින් පටන් ගත්ත මොහුගේ කලා ජීවිතය මනමේ, සිංහබාහු, නරි බෑනා, ජසයා සහ ලෙංචිනා, මහාසාර, රත්නාවලී, සුබ සහ යස වගේ නාට්‍ය රැසක රඟපානවා. මේ නාට්‍ය බොහොමයක් දැවැන්ත නාට්‍යකරුවන් වන එදිරිවීර සරච්චන්ද්‍ර සහ දයානන්ද ගුණවර්ධනගේ නාට්‍යය. ඊට පස්සේ ඔහු සිනමාවටත් එකතුවෙනවා. ඒ 1970  දශකයේදී බංඟලි වළලු, නෑදෑයෝ වගේ චිත්‍රපට පීක් එකට එනවා. විශේෂයෙන් නෑදෑයෝ චිත්‍රපටයේ විජය දෑස් නොපෙනෙන චරිතයක් තමයි රඟ පාන්නේ. ඒක ගොඩක් අය වැළඳ ගන්නවා. ඒ වෙනකොට විජය භාවාත්මක නළුවෙක් වෙලා ඉවරයි. ඒත් භාවාත්මක නළුවට මොකද වුණේ?



ඇත්තටම කණගාටුයි. විසි එක්වන සියවස ආරම්බයත් සමඟ විජය භාවාත්මක රංඟනය අත අරිනවා. මගේ හිතේ හරිම වචනය මග හැරෙනවා. මේත් එක්කම මහරාජගේ ටීවී එකේ නෝනාවරුණි මහත්වරුණි කියන නාට්‍යයේ ප්‍රධාන චරිතය කරනවා. එතන ඉඳන් විජය විකිණෙන්න ගන්නවා. ඒක විජයටත් නොදැනුව වෙන්නේ. ඊට පස්සේ වැල වගේ විජය ඇදීගෙන එනවා. මේක විශාල වශයෙන් සිදුවෙන්නේ සිනමාව තුළදී. ඒකට හේතුව වුණේ ඒ වන විටත් බන්දු ටෙනිසන් මේ රටේ අයට තිත්ත වෙලා තිබ්බේ. මේ නිසා විජය කොමඩි සිනමාවට නැතුවම බැරි වෙනවා. ඒ විතරක්ද මේක දැකපු වේදිකා නාට්‍යකාරයෝ  නාට්‍ය විකුණගන්න විජය යොදා ගන්නවා. අවසානයේ විජය ලංකාවේ වැඩිම අයකරණ නළුවත් වෙනවා. එහෙමයි විජයගේ කතාව යන්නේ. මනමේ වෙනුව බල්ලොත් එක්ක බෑ වෙනවා, නෑදෑයෝ වෙනුවට සුහද කොකා වෙනවා. ඒ තුළින් විජය විකට රංඟන ශිල්පියෙක් වෙනවා. ඒක ඔටෝමැටිකලි වෙන්නේ.



ඔන්න ඔහොමයි විජයගේ ඛේදවාචකය වෙන්නේ අපේ රටේ කලාව ඇතුළේ. විජය වගේ දක්ෂ නළුවෙක් මේ සිස්ටම් එක තුළදි සම්පූර්ණ කන පිට ගස්සනවා. ගොඩක් අය බණී ඇයි විජය බබාද එහෙම වෙන්න කියාලා. නෑ විජය බබා නෙමෙයි. විජය පට්ට මීටරයක්. විජය එක් වතාවක් කියනවා මට අද කොමඩි චරිතවලට එන්න වෙලා තියෙන්නේ ආර්ථික ගැටලුවත් එක්ක කියලා. අසනීප තත්වය නිසා වියදම් වුණු මුදල නැවත සොයාගන්න හැම එකකම රඟ පාන්න වෙලා තියෙනවා කියලා. ඒ අතින් විජය පව්. හැබැයි විජය තව පැත්තකින් සාර්ථකයි. ඒ භාවාත්මක නළුවෙක් වෙච්ච විජය හැරුණත් හිනා යන තැනට ප්‍රේක්ෂකයව ගේන නිසා. ඒක ඔහුගේ දක්ෂතාවය. ඒක නළුවකුගේ හැකියාව. අනික් පැත්තෙන් විජය පව් වෙන්නේ විජය වගේ භාවාත්මක නළුවෙක් මරලා දාන එක. ඒක මේ කලාව තුළ සිදුවුණු මහා ඛේදවාචකයක්.



කොහොම උණත් දැන් විජය මැරිලා ඉවරයි. හෙට අනිද්දට විජය ගැන ගුණ වයයි, පළමු ගුණ අනුස්මරණයට මහරගම ලොකූ පිළිමෙකුත් හදයි. ඊට පස්සේ විජය සැමරුම් වසන්තය කියලා කලා උත්සවයකුත් කරයි. ඒත් විජයට වෙච්ච ඛේදවාචකය අඳුර ගන්න කාටවත් බැරි වෙයි. විජය සැමදාම ප්‍රහසන නළුවෙක් හැටියට ඉතිහාසයේ ලියවෙයි. ඒක විජයට කරපු අසාධාරණයක්. එයින් විජයවගේ අයට බේරෙන්න බැරි වුණා වගේ තවත් ගොඩකට බේරෙන්න බැරි වෙයි. ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර වගේ අයත් මේ ක්‍රමය තුළ කනපිට හැරෙමින් තියෙන්නේ. එහෙම වුණොත් මේ කලාවට කෙලවෙන එක කෙලෙවෙනවාමයි. ඒක නවත්වන්න බෑ සක්කරයටත්.



කොහොම වුණත් අන්තිමට කියන්න තියෙන්නේ විජය කියන්නේ අහිංසක මිනිහෙක්. සැබවින්ම ඔහු මානුෂිවාදී කලාකරුවෙක්. ඔහු කවදාවත් දේශපාලනය පස්සේ ගියේ නෑ. ඒ නිසයි ඔහු පස්සේ ජනතාව ආවේ. කාලයක් කලාකරුවෝ රටේ නායකයා වෙනුවෙන් වීණා වයද්දිත් විජය හිටියේ ජනතාව පැත්තේ. හැබැයි එහෙම ගිය උන්, උන්ට දෙයක් කර ගත්තා මිසක් කලාවට කරපු ඉටිගෙඩියක් නෑ. ඒ නිසා විජය මාර වටිනවා. එක අතකින් මේ රටේ මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්න පොඩ්ඩක් හරි අමතක කරලා හිනැස්සුවේ විජය. ඒකයි විජයට මේ තරම් මිනිස්සු ආදරේ.


දැන් විජය යන්නටම ගිහින් ඉවරයි. ඒත් විජය වගේ කලාකරුවෝ තවත් මේ කලාවේ හිර කරලා තියෙන්නේ. ඒ නිසා ගල් ලෙන බිඳලා ලෙනදොර ඇරලා එලියට එමු. එතෙක් විජය මහත්තයෝ සුබ ගමන් ඔබට.!!

No comments