ලැන්ටියාගේ චින්තනය 15
මෛත්‍රී නියපොත්තෙන් කඩමු නේද ?
උතුර නැවතත් ගිනියම්ය. තැන තැන පහරදීම්ය. හඳුනා නොගත් පඩ කොල්ලන් ගෲප් තනාගෙනය. දෙමළ ජනතාවට විමුක්තිය සෙවීම සඳහා මේ ගෲප් වල කොල්ලෝ ආරක්ෂ නිළධාරීන් දඩයමේය. කියන්නේ ප්‍රභාකරන්ගේ පරපුර කියාය.
කොහොම උණත් මේ කියන්නට යන්නේ මේ උතුරේ සිදුවන නරිනාටක ගැනය. උතුරේ සංහිඳියාව ගොඩනගන්න මේ ආණ්ඩුව නොගන්නා උත්සහයක් නැත. ඉඩම් මුදා හැරියේත්, අධි ආරක්ෂක කලාප ඉවත් කළේත්, එසේම කඳවුරු සීමා කළේත් දෙමළ ජනයාට නිදහසේ සුවය විඳීමට අවසර පතාය. එහෙත් නොසිතූ විරූ මොහොතක විශ්ව විද්‍යාල කොල්ලන් දෙදෙනකු මියගියහ. සැබවින්ම මෙයට එදින රාජකාරි කළ පොලිස් නිළධාරීන් වගකිව යුතුය. උතුරේ හෝ දකුණේ වේවා ඒවා එච්චර තියා කොහොමත් හොඳ නැති වැඩය. කෙසේ වෙතත් ඒක හොඳ නෑ කියාත්, මැරුණේ දෙමළා කියාත් ආණ්ඩුව වැඩේ අත ඇරියේ නැත. මෝටර් සයිකලයට වෙඩි තිබ්බ එකාගේ සිට පොලිස් රියදුරා තෙක් අල්ලා පැය 24 ක් යන්නට පෙර කූඩු කළේය. ඒ අනුව දකුණටත් වඩා ඉක්මනින් උතුරේ නීතිය ක්‍රියාත්මක විය. එය හොඳය.
කෙසේ වෙතත් අදාල සිද්ධියට නීතිය ක්‍රියාත්මක කළ විට ඒ හරහා වෙනත් ආකාරයක කැළෑ නීතියක් ගොඩ නගන්නට උතුරේ පිරිසක් උත්සහ ගත්තේ කවුරුත් නොසිතූ විරූ මොහොතකය. ඔත්තු සේවයේ සිටි පොලිස් නිළධාරීන් දෙදෙනකු මේ පිරිස නිසා ගුටි කෑවේය. තවත් පොලිස් නිළධාරීන්ගේ ඔළු පැලුවේය. එයින් සීමා නොවී උතුරේ අහිංසක දෙමළ පොලිස් නිළධාරීන් සිය සේවයෙන් ඉවත් වී යන ලෙසට අවධානම් සහිත ලිපි යැව්වේය. මේ ඉහත කී පඩ ගෲප්ය.
තරුණ අසහනය සැමටම ඇති දෙයකි. සිංහල හෝ වේවා, දෙමළ හෝ වේවා තරුණ අසහනකරුවන් කාලයත් සමඟ බිහිවන්නේය. කාලයක් දකුණ පුරා තරුණ අසහනය මෝදු වීම මත විශාල ජන සංහාරයක් 88/89 කාලය පුරා සිදුවුණේය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මෙම තරුණයන් දේශපාලනයට ආවේය. පාඨලී චම්පික, අනුර කුමාර, විමල් වීරවංශ, රතන හාමුදුරුවන්, කරු පරණවිතාන, විජිත හේරත්, ආදී තරුණ අසහනකාරී පිරිස් සිය උද්වේගකාරී ගමන අත හැර දේශපාලනයට ආවේය. දැන් ඔවුන් සියලු දෙනා දේශපාලන දහරාවේය. එය දකුණේ අසහනකාරී ගමනක අවසානයය.
උතුරේ පිරිස්ද සිය අසහනය වසර තිහක් පුරා ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් පිට කළේය. දකුණේ මෙන් නොව උතුරේ තරුණයෝ එදින පැතුවේ වෙනම රාජ්‍යක්ය. එම රාජ්‍ය මනෝරාජික රාජ්‍යක් නිසා බොහෝ තරුණයන්ට ජීවිත අහිමි වූහ. දැන් යුද්ධය අවසන් වී ඇත. අසහනකාරි ගමනක අවසානයේ සිට ආපසු හැරී බලන විට පැමිණි පාර පුරා සිංහලයාට වඩා දෙමළාගේ ලේ වැටී ඇති ආකාරය ඔවුන්‍ටම දැකගත හැක. එහෙත් ඒ බව දැන දැන ඔවුන් විවිධ ගෲප් තනාගෙන උත්සහ ගන්නේ නැවතත් පරණ තැනට යන්නටය. ඔවුන් මේ සටන් කරන්නේ නැවතත් පැරණි මනෝරාජික රාජ්‍ය ගොඩනැගීමටය. එහෙත් ඔවුන් කළ යුත්තේ එය නොවේය. ඔවුන් කළ යුත්තේ තිබෙන රාජ්‍ය තුළ දේශපාලනික සටනක නිරත වීමය. දකුණේ තරුණයන් මෙන් දේශපාලන නායකත්වයකට ප්‍රවිෂ්ඨ වීමය. ඒ හරහා ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පලා, කදිරගාමර්ලා, මනෝ ගනේෂන්ලා බිහිවීමය. එහෙත් උතුරේ ඇතැම් දේශපාලඥයන් උත්සහ ගන්නේම දෙමළ තරුණයන් බුද්ධි බලකායකට ඇතුළත් නොකොට සන්නද්ද බලකායක් බවට පත් කිරීමටය. ඒ හරහා නව දැනුමින් සන්නද්ධ පරපුරක් බිහිකරවීම නොව ලේ දැක සැනසෙන තරුණ කැලක් බිහිකිරීමටය. එය සැබවින්ම අඳුරු අනාගතයක බිහිසුණු කැළලක් ඇති කිරීමක් වැනිය.
ඒ නිසා උතුර තුළ බිහිවිය යුත්තේ සන්නද්ධ ගෲප් නොව බුද්ධිමත් ගෲප්ය. එය සංහිඳියාව සහිත ගමනකට ආශිර්වාදයක් විය යුතුය. විශේෂයෙන් ඉදිරියේදී දකුණේ තරුණයන් මෙන්ම උතුරේ තරුණයන්ද පාර්ලිමේන්තු ආ යුතුය. පොලීසියේ හමුදාවේ ලොකු පුටුවලට ආයුතුය. එපමණක් නොව වෛද්‍යවරු, ඉංජිනේරුවරු බිහිවිය යුතුය. එවිට සැබෑ සංහිඳියාව ඇතිවනු ඇත. එදාට ලංකාව පෙරදිග මුතු ඇටය නොව සංහිඳියාවේ පාරාදීසය වනු ඇත. එනිසා සංහිඳියාවට වින කටින ඔය ඕනම ගෲප් එකක් දැන්ම ඉවත් කළ යුතුය. නැතහොත් මේ සුන්දර ආරම්භක ගමන විනාශ වනු ඇත. ඒ නිසා දෙමළ ජනයාටවත්, සිංහලයාටවත් ඔය කිසිම ගෲප් එකක් අදාල වන්නේ නැත. එසේ නම් මෛත්‍රී, නියපොත්තෙන් කඩා දමන්න තව තවත් සිතිය යුතු නැත .
No comments