Breaking News

ලැන්ටියාගේ චින්තනය 02

පූජිත පූජිත නවතින්න..... මේ යහපාලනයයි.


අපේ දේශපාලන ඉතිහාසය තුළ ආණ්ඩු පෙරළුනු සහ ආණ්ඩු පෙරළනු ලැබූ අවස්ථා අනන්ත අප්‍රමාණ ඇත. එලෙස පෙරලෙන්නට හේතු වූ කාරණා මෙන්ම පුද්ගල චරිතද අපි අනන්ත අප්‍රමාණ අසා ඇත.


1948 නිදහස ලබාදුන් ඩී.එස් ඇතුළු එක්සත් ජාතික පක්ෂය 1956 පෙරළනු ලැබුවේ එජාපයේ සිට පැමිණි බණ්ඩාරනායක මහතාය. එයට හේතුවුයේ එජාපයේ බටහිර ගැති ප්‍රතිපත්තියය. එසේම දේශීයත්වය අපිරිමිත ලෙස ආරෝපණය කරමින් රටේ ජනතාව දැඩි ලෙස ආහාර අර්බුදයකට තල්ලු කිරීම නිමිත්තෙන් නැවතත් බටහිර ගැති ජේ.ආර් ගේ ආණ්ඩුව 77 දී බලයට ආවේය. එහෙත් මැතිණිය තරම් විදේශ සබඳතා පැවැත්වූ රාජ්‍ය නායකයෙක් අපේ රටේ මෙතුවක් බිහිවීද නැත. ජේ.ආර් ගේ සහ ප්‍රේමදාසගේ ආණ්ඩු විජේවීර ඇතුළු ජේ.වී.පී.යත්, ආණ්ඩු විරෝධී ජනතාවත් මර්දනකාරී වැඩපිළිවෙලක් ආරම්බ කිරීම නිසාත්, එසේම ලලිත් සහ ගාමිණී ආණ්ඩු විරෝධී චරිත දෙකක් ලෙස ස්මතු වීම නිසාත් 1994 දී චන්ද්‍රිකාට බලය තහවුරු කර ගැනීමට හැකිවිය. සැබවින්ම ඒ වන විට එජාප යට ශක්තිමත් නායකයෙක් හිටියේද නැත.


2001 දී රනිල් අගමැති වූ අතර එහෙත් වසර දෙකක් ඇතුළත රනිල්ට ගෙදර යන්න වුයේ එල්ටීටීය සමග ඇති කරගත් සාම සාකච්ඡාත්, අතුරුගිරිය මිලේනියම් සිටි සිද්දිය නිසාත්‍ ය. ඒ හරහා චන්ද්‍රිකා ආණ්ඩුව විසිරවූ අතර නැවත එජාපයට දිනන්න අවස්ථාවක් ලැබුණේ නැත. එසේම චන්ද්‍රිකාගේ ආණ්ඩුව මිනිස්සුන්ට එපාවූයේ සිද්ධීන් සහ පුද්ගලයන් කිහිප දෙනෙක් නිසාය. එකක් රෝහණ ඝාතනයය. අනෙක අනෝජාගේ නිවසට ගිනි තැබීමය. තුන්වැන්න රූකාන්තට පහරදීමය. මේ සෑම දෙයක් පිටුපස චන්ද්‍රිකා නොසිටියත් ඒ පසුපස චන්ද්‍රිකා සමඟ සිටි පිරිසක් සිටියහ. එකෙකු සනත් ගුණතිලකය. අනෙකා බැද්දගානේ සංජීවය. මේ නිසා චන්ද්‍රිකාගේ ආණ්ඩුව එපා වී සිටියේය.


ඊට පසු මහින්දට බලය ගියේය. මහින්ද යුද්ධය දින්නේය. එහෙත් මහින්දට මිනිසුන්ගේ හිත් දිනන්න නොහැකි විය. මහින්දගේ කාලයේ ලසන්ත ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය මෙන්ම පහර කෑමට ලක්විය. වරදකරුවන් නොවන අහිංසකයන් පැහැර ගැණුනි. රතුපස්වල, හලාවත, කටුනායක ආදි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වල පුද්ගලයන් මැරුම් කෑහ. එසේම සහෝදරයන් මෙන්ම දරුවන් රටේ තීන්දු තීරණ ගන්නා තැනට පත්විය.


නාමල්, බැසිල්, ගෝඨා ආණ්ඩුවේ ඇමතිවරුන්ට පවා තග දැම්මේය. සජින්, මර්වින්, ශාන්ත, ලන්සා වැන්නවුන් මහින්දගේ ආදරය දිනාගත් ආදරණීයන් වූහ.


මේ නිසා මහින්දට තුන්වතාවක් රජ කරන්නට අවස්ථාව හිමිවුණේ නැත. රාජපක්ෂ ආණ්ඩුව පන්නන තැනට රට ආවේය. අවසානයේ මහින්දට තමන්ගේම පක්ෂයේ ලේකම්ට පැරදෙන්නට සිදුවුණේය.


ඉහත සිද්ධි සහ පුද්ගලයන් නිසා ඒ ඒ ආණ්ඩුවලට සහ නායකයන්ට ගෙදර යන්නට වූහ. එහෙත් ඒවා නායකයන්ට වැටහුනේ ගෙදර ගිය පසුවය. එතෙක් බලයේ ඉන්නාතෙක් මේ කිසිවක් පෙනුනේ නැත. ඇහුනේ නැත. දැක්කේද නැත.


දැන් උදාවී ඇත්තේ යහපාලන රජයකි. අවිහිංසාව පෙරටු කරගත් මේ රජය තුළ පුද්ගල නිදහස වල් බූරූ නිදහස නොවී උපරිමයෙන් බුක්ති විඳීමට අවස්ථාව හිමිවිය යුතුය. සියලු ආණ්ඩුවල තිබු අඩුපාඩු මේ රජයෙන් කිසිසේත් ජනතාව බලාපොරොත්තු වන්නේ නැත.


ඒ සියලු ආණ්ඩු තිත්ත වූ නිසා මේ මෛත්‍රී රනිල් සුසංයෝගය පත්කර ගත්තේය. මේ ආණ්ඩුවට ආණ්ඩු එපා කරන පුද්ගලයින් සිටිය නොහැක. එහෙම විය හැකි සිද්ධින් පවා තිබිය නොහැක. එය අප බලාපොරොත්තු වූ දෙයකි.


එහෙත් කරුමය නම් එවැනි අයකු ක්‍රමයෙන් මේ ආණ්ඩු සමයේ නැගී එමින් සිටීමය. ඒ වෙන කවුරුත් නොව පොලිස්පති පූජිතය. පූජිත යනු හොඳ මිනිහෙක්‍ ය. එහෙත් පොලිස්පති කමට සුදුසු නැත. එසේ කියන්නේ ඇයි?


මහින්දගේ පාද යාත්‍රාව සතපහකට වැඩක් නැත. එයට ආණ්ඩුව බිය විය යුතුද නැත. ඒ නිසා ආණ්ඩුව කළ යුත්තේ මහින්දට පයින් බැරිනම් උඩින් ආවත් කමක් නෑ කියා සිතීමය. එහෙත් පොලිස්පති කලේ කුමක්ද?


පොලිස්පති 26 වනදා උදෙන්ම තමන්ගේ ගෝලයන් දෙදෙනා වන අජිත් රෝහණත්, රුවන් ගුණසේකරත් මහනුවරටත්, මාවනැල්ලටත් යවා පාගමනට නවතන්නට අධිකරණ නියෝගයක් ලබාගත්තේය.


මේ හේතුවෙන් එදින දවසේ පුවත වුයේ එම නියෝගය ගැනය. අවසානයේ මහින්දටත් පාගමනටත් නොමිලේ ප්‍රචාරයක් ලැබුණේය. පොලිස්පති එතනින් නැවතුනේ නැත. අවසානයේ පොලිස්පති තම ගෝලයන් ලවා වරකාපොල, අත්තනගල්ල, කෑගල්ල, මහර ආදී ප්‍රදේශ වලිනුත් අධිකරණ නියෝග ලබාගෙන පාගමන නවත්වන්නට උත්සහ කළේය.


එහෙත් ඒ සෑම තැනින්ම එය ප්‍රතික්ෂේප කළේය. මේ නිසාද මහින්දටත්, පාගමනටත් ප්‍රසිද්ධියක් නොමිලේ හිමිවිය. එපමණක් නොව පොලිස්පති මාධ්‍යට නිවේදන නිකුත් කළේය. මිනිසුන්ට බය නොවන ලෙසත් කීවේය. ඉන් නොනැවති පොලිස්පති යන යන තැන්වල පාද යාත්‍රාව ගැන කතා කළේය. ඒ හරහා බලය පෙන්වමින් තමන්ගේ බලපරාක්‍රමය විදහා පෑවේය. එසේ පෙන්වමින් ජනතාවට පොරටෝක් දුන්නේය.


දැක්කා නේද මගේ නියෝග, හරියට දකුණු පලාත වගේ නේද? අපි උඩරට වුනාට කෙළින් මිනිස්සු. නීතිය කඩන්න බෑ. නවන්න පුළුවන්. අපි නවාගෙන යමු ඉස්සරහට.


මේ පොලිස්පතිගේ බලපරාක්‍රමයය. මෙය සැබවින්ම සිනහ යන ප්‍රකාශයකි. කමක් නැත. එයාගේ සතුට ඒක නම් ඒකට අපිට කමක් නැත. එහෙත් ලේ හලමින් දාඩිය පෙරමින් ගොඩනගාගත් ආණ්ඩුවට මේ වැඩ හරි නැත. එයින් වෙන්නේ මේ ගොන් වැඩ ආණ්ඩුවේ වැඩ කියා මිනිස්සු සිතීමය. ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය මෙවැනි දේවලින් බිඳවැටෙනු ඇත. ඉන් අනතුරුව ආණ්ඩු විරෝධි රැල්ල ක්‍රමයෙන් ස්මතු විය හැක. එදාට ඔය පොලිසි හරියන්නේ නැත. ඒ නිසා පොලිස්පති පොලිස්පති මිස සුපර්ස්ටාර් විය යුතු නැත. එසේ වුවහොත් නාන්නට වන්නේ පොලිස්පතිට පමණක් නොව ආණ්ඩුවටත් එක්කමය.


මීළඟට, පොලිස්පතිවරයා විසින් මෙහෙයවනු ලබන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ ආණ්ඩුවේ මුහුණේ දැලිගාන ආයතනයකි. එයට හේතුව යම් යම් අත් අඩංගුවට ගැනීම් සිදුවන්නේ මහින්දට වාසි වෙන පරිදිය. ඇතැම් සිද්ධින් වල සාක්ෂි නැත. මේ නිසා උසාවි ගොස් නඩු කනපිට හැරවන අවස්ථා පෙනේ. හොඳම උදාහරණය නාමල්ට ඇපදුන් දින බැසිල්ව ඇල්ලීමය. එය සැබවින්ම සිනහා යන කාරණයකි. ඒ නිසා මේ වෙන්නේ නොදන්නා කම නිසා බවට අපට සිතිය නොහැක. එහෙම කියා බේරෙන්නට බැරිය. ඒ නිසා පොලිස්පතිත් FCID ‍යත් ඔයිට වඩා මොලෙන් වැඩ කළ යුතුය. විපක්ෂයට ආණ්ඩු විරෝධී ටොපික් ලබානොදි වැඩ කළ යුතුය.


එසේ නොවුනහොත් යහපාලන ආණ්ඩුවේ පතිවතට කෙලවෙනු ඇත. එහෙත් එහෙම කරන්නටද බැරිය. හේතුව FCID යේ වැඩිපුරම ඉන්නේ මහින්දගේ ගෝලයන්ය. ඒ නිසා නිතර මහින්දට බෝලය උස්සා දෙනු ඇත. එවිට මහින්ද උඩ පැන ප්‍රහාරය එල්ලකරනු ඇත.


ඒ නිසා ආණ්ඩුව රැකගන්න සුපර්ස්ටාර්ලාගෙන් පරිස්සම් කර ගත යුතුය. එසේ නොමැති වුවහොත් ඉහත කී ලෙස යහපාලන ආණ්ඩුව නැතිවීමටද අපට හේතුවක් ඉදිරියේදී කියන්නට ඉතුරු වනු ඇත.

No comments