Breaking News

ලැන්ටියාගේ චින්තනය 09

'දුමින්ද' -අදාල නෑ නේ !!


පැවති රජයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු වූ රොමෙලෝ දුමින්ද සිල්වා ඇතුළු පහක් පසුගියදා පෝරකයට නියම වූහ. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරුවන් වෙමිනි. මෙය ඉතිහාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පෝරකයට නියම වූ මුල්ම අවස්ථාව විය. එපමණක් නොව මෙය කිසිඳු දිනක බන්ධනාගාර ගත නොවී මරණීය දණ්ඩනය ලද පළමු චූදිතයාද දුමින්ද විය. ඒ නිසා මෙම නඩුව විශේෂ නඩුවක් ලෙස ඉතිහාස ගත වනු ඇත.


කෙසේ වෙතත් මෙම තීන්දුව හරහා යහපාලනය ගොඩනැගීමට මැදිහත් වූ ටොයියන් විශාල පිරිසක් සිටින්නේ ඉහවහා ගිය සතුටකිනි. එසේම මෙම තීන්දුව නිසා කන බත්ගුලිය උගුරෙන් පහලට නොගොස් දුක්වන බයියෝද විශාල සංඛ්‍යාවක් සිටිති.මේ දෙපිරිසටම කියන්නට යන්නේ මෙම සිද්ධියෙන් ඉගෙන ගත යුතු පාඩමක් ගැනය. පළමුව ටොයියන්ටය. දෙවනුව බයියන්ටය.


යහපාලන රජයත්, නීතියත්, නව පොලිස්පතිවරයාත් ලැබූ විශාලම ජයග්‍රහණය දුමින්ද පෝරකයට යැවීම බව බොහෝ ටොයියන් මනෝමය වශයෙන් විඳිනා ස්වයං වින්දනයකි. එම වින්දනයෙන් එපිටහට ගොස් කඩමන්ඩියේත්, බස් නැවතුම්පළේත්, දුම්රියේත් තළු මරමින් එම අවස්ථාව රස විඳීමට පුරුදු වී සිටින්නේ "කොහොමද අපේ රජයේ වැඩ" යනුවෙන් උදම් අනමිනි. එය එක් අතකින් සාධාරණය. එනම් වසර ගණනාවක් නීතිය බල්ලට දමා රටේ නැති පාහරකම් පාදඩකම් සිදුවූ යුගයක මෙවැනි පුවතක් ඇසීමම ඇඟ වෙව්ලුම් කන මොහොතකි. එහෙත් දුමින්ද සිල්වා එල්ලීමට නියෝග කළ පමණින් වැඩේ හරිද?


යහපාලන රජය පෙරට ආවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ රාජපක්ෂවරු විසින් එළියට නොපෙනෙන ලෙස සිදුකළ ගැහිලි, දූෂණ, මිනීමැරුම් එළියට දමා දඬුවම් දීම සඳහාය. එලෙස බලය හිමිවීම මත බොහෝ දෙනා හීන දැක්කේ හැකි ඉක්මනින් දූෂිතයන්ට දඬුවම් දෙතැයි යන්නය. එහෙත් යහපාලන රජය යල් පැන ගිය අධිකරණ ක්‍රමයත්, කල් පැන ගිය නීති ක්‍රමවේද තුළත් සිටිමින් දූෂිතයන් හුරතල් කරමින් සිටිති. මූල්‍ය අපරාධ පිළිබඳ සෙවීම සඳහා විශේෂ ඒකක ලෙස FCID යත්, ජනාධිපති කොමිෂමත් පත් කළත් අද වනතෙක් සිදුවූ බම්බුවක් නැත. සැබවින්ම මෙම ආයතන දෙක වැලේ වැල් නැතිව නන්නත්තාර සිටින විපක්ෂයේ දූෂිත තක්කඩි රෑනට ප්‍රසිද්ධිය ලබාදීම සඳහා බිහිකළ ආයතන දෙකකි. හැමදාම කවුරුන් හෝ අයකු ඉහත කී ආයතන දෙකට රිංඟන්නේ මොකක් හෝ මගඩියක් නිසාය. එනකොටද වොයිස් කට්‍ ය. යනකොටද වොයිස් කට්ය. කොහොම හරි රෑට "කියන කතා" වලට කෑල්ලක් දී ඇත. අන්තිමට හොරු පොරවල් වන අතර රජය කිචවෙති. මොනවා හරි නීතියකට අත් අඩංගුවට ගත්තද අධිකරණයට ඉදිරිපත් කළ විට ඇතැම් විට එවලේ නිදහස් වෙති. නැතහොත් දවස් 14 න් නිදහස් වෙති. එවිට එළියට එන විට හින්දි බයිස්කෝප් එකක් වගේය. හොරාට මල්මාලාය. ප්‍රීති ගෝෂාය. එපමණක් නොව බන්ධනාගාර ගතවූ දිනේ සිට සැකකරු බලන්න යන තාත්තා, අම්මා, අයියා, මල්ලි, අක්කා, නංගි, නැන්දා, කුඩම්මා, ගෙදර මෙහෙකරුවන්, පාසල් ගුරුවරුන්ගේද වොයිස් කට්ය. එවිට එළියේ සිටින අපට හිතෙන්නේ කවුරුන් හෝ ජාතික වීරයෙක් කියාය.


මේ සියලු සිද්ධිවලින් පසු නඩුව අවුරුදු හතරක් පහක්, දහයක් දුවන්නේය. අන්තිමට ආණ්ඩු මාරුවෙලාය. මිනිස්සුන්ට සිද්ධියද අමතකය. අවසානයේ සැකකරු නිදොස් කොට නිදහස්ය. ඒ මේ රටේ නීති ක්‍රමයේ හැටිය.


ඒ නිසා මේ සාම්ප්‍රදායික අධිකරණ ක්‍රමවේදයෙන් මිදී ඉක්මනින් නඩු ඇසිය හැකි වෙනත් අධිකරණයක් හෝ අධිකරණ පද්ධතියක් ගොඩ නැගිය යුතුය. හැකි ඉක්මනින් නඩුව අසා දඬුවම් දිය හැකි නම් දැන් හොරා කන අයටද එය හොඳ පාඩමක්ය. නැතහොත් සිදුවන්නේ මෙය දම්වැල් වගේ ඇදි ඇදී ඉදිරියට යාමටය. එපමණක් නොව මෙම නඩු කනපිට හැරවෙන තවත් ක්‍රමයක් ඇත. ඒ මෙම පරීක්ෂණ ආරම්භ කළ නිළධාරීන් නඩු තීන්දුව දෙන විට විශ්‍රාම ගොස් තීබිම නිසාය. අවසානයේ නඩුව අල වී ඇත. ඒ නිසා හැකි ඉක්මනින් වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු අධිකරණ පද්ධතියක් රට තුළ ගොඩ නැගිය යුතුවන අතර එදාට ටොයියන් සතුටු වුණාට කම් නැත. එතෙක් දුමින්දගේ මරණීය දණ්ඩනය හරහා සතුටු වන්නේ නම් එය හුදෙක් එය අමුම අමු මෝඩ කමකි. හේතුව දුමින්ද වැනි දරුවන් වැදූ අප්පච්චිලා තවමත් නිදැල්ලේ ඉන්නා නිසාය.


දැන් බයියන්ටය. දුමින්දගේ ඉරණමෙන් පසු දුක්වන්නේ නම් සහ තරහයන්නේ නම් මේ ගැන සිතන්න. දුක් වුවාට කම් නැත. හේතුව මිනිසුන් වන අපි තවත් මිනිසකුගේ විනාශය හෝ කඩාවැටීම දැක සතුටු නොවිය යුතුය. එය උතුම් මිනිසත් කමකි. එහෙත් ඔබට තරහා යන්නේ නම් එතන මිනිසත් කම නොව එය පාගාගත් පාදඩ දේශපාලන චින්තනයක් ඔබේ සිතේ මෝදු වී ඇත. හේතුව ඔබ වෛර බඳින්නේ දුමින්දට ඇයි මරණ දඬුවම දුන්නේ කියා යන ගැටලුවේ සිට හා මෙය යහපාලන රජයේ බිල්ලක් ලෙසය. නැත. ඔබ දුක් නොවන්න. ඔබ සැබවින්ම සතුටු විය යුතුය. එනම් මේ රටේ නීතීය යම් ආකාරයකින් ස්වාධීන වී තිබීම ගැන සිතාය. මිනිසුන් සුදු වෑන් වලින් උස්සා ඝාතනය කිරීමත්, පහර දීමත් යන වනචාරී ක්‍රවේදයට වඩා නඩු ඇසීම මගින් දඬුවම් දීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට පැමිණීම පිළිබඳ ඔබ සතුටු විය යුතුය. එසේ නොවුනේ නම් අද ඔබටත් මටත් සිදුවූ අසාධාරණයට නීතියෙන් පිළිසරණක් නැත. ඒ නිසා ඔබ ගෙවූ භීෂණ සමය අමතක කොට දැන් විනය ගරුක සමාජයකට හුරුවිය යුතුය. එය අමාරුවිය හැක. එය බලාසිටීමට නොහැකියාවක් හිතේ චකිතයක් ඇතිවිය හැකිය. ඒ නිසා වෛරයක් හිතේ ජනිත විය හැක. නමුත් මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක ක්‍රමවේදය බව ඔබ දැන ගතයුතු කරුණකි. එසේම ඔබ දුක් විය යුත්තේ අද නොවේය. දුමින්ද වැනි අය අයාලේ යන කාලයේ එවා නොදැක්කා සේ සිට ඔවුන්ට උල්පන්දම් ඇල්ලූ රාජපක්ෂ සමයේදී ඔබ දුක්වන්නට තිබිණි. හේතුව දුමින්ද වැනි හැදි දැඩි තරුණයන්ට අනාගතයේ අත්වන ඉරණම දෙස බලාය. එහෙත් ඔබ එදාද අත්පුඩි තැලුවා මිස රජය යහමග යවන්න ක්‍රමයක් කල්පනා කලේ නැත. එපමණක් නොව ඔබ අද කල්පනා කරන්නේද නැවතත් රාජපක්ෂ සමය උදා කිරීමටය. ඒ වෙන කිසිවක් නිසා නොව ඒ අතෘප්තිකර සමය ඔබට තවමත් තෘප්තියක් ගෙන එන නිසාය. ඒ නිසා ඔබ මේ නැවතත් උත්සහ ගන්නේ දුමින්ද වැනි තරුණයන්ට මරණ සහතික ලියාදීමටය. එදාට අද වගේ දුක්වන්නට වන්නේ පිට අයගැන නොව තමන්ගේම දරුවන් ගැනය.

No comments