Breaking News

ලැන්ටියාගේ චින්තනය 12

 තකට තක, දොන් තක !!!


නව රජයේ ඒකායන අරමුණ වී ඇත්තේ සාමය සංහිඳියාව රජයන අලුත් රටක් නිර්මාණය කිරීමය. ඒ සඳහා යහපාලනය නැමැති තේමාව ඔස්සේ නොයෙකුත් ක්‍රමවේද රටතුළ ක්‍රියාත්මක කළත් එම ක්‍රියාවන් පුස්සක් වී ඇත. එයට හේතු කාරණා කිහිපයක් ඇත. එයින් ප්‍රධානම වන්නේ දකුණේ සිංහල කම නොසිතූ විරූ මොහොතක දේශපාලනය හරහා ස්මතු වීමත් සහ උතුරේ දෙමළ බෙදුම්වාදය දේශපාලනය ඔස්සේ නැවත ස්මතු වීමත්ය. මේ සඳහා රජයක් ලෙස මුහුණදීම සැබෑම අභියෝගයක් වී ඇත.


කෙසේ වෙතත් මෙම දෙපිරිසටම ඇත්තේ දේශපාලනමය ඇරියස් එකක් මිස රට නගාසිටුවීමේ අරමුණක් නොවන බව බැලූ බැල්මටම තියෙන සහ පෙනෙන දෙයකි. ඒ නිසා අපි අද සොයා බලමු මේ දෙපිරිසගේ අරමුණ කුමක්ද කියා.



තිස්වසරක යුද්ධයක් පැවැත්වුණු මේ රටතුළ එය නැවැත්වීම සඳහා පැහැදිළි දේශපාලන නායකත්වයක් ලබා දුන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය විසිනි. මෙහිදී කැබිනට් මණ්ඩලයට විශේෂ ස්තූතියක් හිමි කළේ ජනාධිපතිවරයා වශයෙන් ගනු ලැබූ තීන්දු තීරණ වලට කැබිනට් අනුමැතිය දෙවරක් නොසිතා ඔවුන් ලබාදීම නිසාය. ඒ අනුව මෙම නායකත්වය තුළ යුද්ධය සාර්ථක ලෙස නිමවූ අතර එහි ප්‍රීතිය කිරිබත් කෑල්ලක් දක්වා පටු කර ගැනීමට දකුණේ පිරිස් කටයුතු කළ ආකාරය ඔබත් මමත් දැක්කේය.


එලෙස ලබාගත් ප්‍රීතිය කෙතරම් ව්‍යාජද යන්න පසුකලෙක මහින්ද ඇතුළු සනුහරේගේ වැඩතුළින් මනාව පෙනෙන්ට විය. එයට හොඳම උදාහරණය නම් මහින්ද කොටි පැරදවූ බවට කීවත්, ඔහු නිතරම පපුවට ගසා ගණිමින් කීවේ තවමත් කොටියා සිටින බව කියාය. එයට උදාරහරණ ලෙස ජාත්‍යන්තරේ සිටි රුද්‍රකුමාරන් වැනි උන් පෙන්වමින් පපුව තලාගත්තේය. ඒ අතරතුර බලහත්කාරී පුනරුත්තාපන ක්‍රියාව මගහල ඇතැම් කොටි සාමාජිකයන් උතුරෙන් සහ දකුණෙන් ඇල්ලූ විට ඊට සහය ලබාදෙමින් දකුණේ මහින්දට අධෝ මුඛය පුජා කළ පත්තර පොල්ගෙඩි අකුරෙන් ‘‘කොටියෙක් අල්ලයි‘‘ යනුවෙන් හෙඩින් දැමීමටද සැරසී සිටියහ. ඒ වෙනකිසිවක් නිසා නොව තවම කොටියා මිය නොගොස් ඇති බවත්, ඒ නිසා මහින්ද රටට අවැසි මොහොතක් යැයි කීමටය. මේ නිසා උතුරේ සැබෑවටම යුද්ධයෙන් බැටකෑ උන් තැලී පොඩිවී ගියේය. මෙය සැබෑම දේශපාලන ජිමික් එකක් විය.


මේ නිසා දකුණේ උන් අම්මෝ තවම කොටියා එහෙමම නේ කියා සිතින් දුක්වින්ඳේය. එහෙත් මහින්දලා ඒ තුළින් අමුතුම තෘප්තියක් ලැබූ අතර එයට හොඳම උදාහරණය වන්නේ කේ.පී වැනි ජාත්‍යන්තර කොටි නායකයින් මහින්දගේ රැකවරණය මත තබා ගැනීම හරහාය.


අවසානයේ ජනවාරි අටවනදා මහින්ද ගැලවී විසිවී ගියේය. ඒ මහින්ද තබා ඔහුගේ අනුගාමිකයොත් නොසිතූ විරූ මොහොතකය. කෙසේ වෙතත් මහින්දගේ ගැලවීම දෙමළ ඩයස්පෝරාවත්, සිංහල ඩයස්පෝරාවත් සැබවින්ම බලාපොරොත්තු වුයේ නැත. මේ දෙපිරිසම සිතුවේ මහින්ද සදාකල් රට කරවතියි කියාය. කෙසේ වෙතත් මෙයින් වැඩියෙන්ම පාඩු සිද්ධවුණේ දෙමළ ඩයස් පෝරාවටය. මෙය කියු සැණින් බොහෝ දෙණෙකුට සිනහ යා හැක. එහෙත් එය සත්‍යම කතාවකි.


එනම්, මහින්ද මේ රට කරනතාක් වාසිය අත් වන්නේ දෙමළ ඩයස් පෝරාවටය. එනම් මෙරටින් ඈත වෙසෙන දෙමළ ඩයස්පෝරා ජාතිකයින් වැඩි දෙනෙකු යුද්ධය ඇති සමයේ මෙරටින් දේශපාලන ආරක්ෂාව පතා පැනගිය උන්ය. ඔවුන් මේ රටෙන් ඈත් වුණේ මෙරට අනාරක්ෂිත බව පතාය. එලෙස ඈත් වු උන් වෙනම මනෝරාජික ආණ්ඩුවක් පිහිටුවමින් විදේශගත දෙමළ ප්‍රජාවගෙන් සල්ලි ගැරීම ආරම්බ කළේය. එසේ ආරම්බ කොට ඔවුන් සිංගප්පූරුව, මැලේසියාව ආදී රටවල් වල ආයෝජනය කළේය. ඒ හරහා ඔවුන් ධනවත් ජාතියක් ලෙස ලොව තුළ විසිරි යන්නට විය. ඔවුන් සැබවින්ම මේ දේවල් ලැබුවේ මහින්ද නිසාය. මහින්ද දෙමළ ප්‍රජාවගේ නිජභූමිය බලහත්කාරයෙන් අල්ලා ගත් බවත්, දෙමළ ප්‍රජාව ඝාතනය කළ බවත් කියා ඔවුන් තව තවත් පිටරැටියන්ගෙන් ආධාර පතා ජීවත් වුහ. එහෙත් සැබෑ දෙමළ ප්‍රජාව තවමත් ඉන්න හිටින්න තැන් නොමැතිව දුක් විඳින්නේය.


කෙසේ වෙතත් මහින්ද ඉවත්වීම හරහා රනිල් - මෛත්‍රී සුසංයෝගය ලොව පිළිගත් දේශපාලන මතවාදයක් විය. මේ නිසා ජාත්‍යන්තර ප්‍රජාව නව ආණ්ඩුව කෙරෙහි විස්වාසයක් ඇතිකර ගත්තේය. කෙසේ වෙතත් මේ හරහා දේශපාලන ආරක්ෂාව පතා විදෙස් ගතවු දෙමළ ප්‍රජාවට නැවත මෙරටට ඒමට සිදුවී ඇත. එය සැබවින්ම ඔවුන්ට අවාසියකි. එය ඔවුන්ගේ ආදායමට එල්ලවූ මරු පහරකි. ඒ නිසා ඔවුන් අලුත් තුරුම්පුවක් භාවිතා කර ඇත. ඒ උතුරේ මහ ඇමති විග්නේෂ්වරයන්ය. දැන් විග්නේෂ්වරන් නැවතත් සුපුරුදු මස් රාත්තල ඉල්ලමින් කරදර කරන්නට පටන්ගෙන ඇත. ඔහු කියන්නේද දෙමළ අයට වෙනම නිජභූමියක් අවශ්‍ය බව කියාය. එම නිජ භුමිය ලබා නොදුනහොත් අවි අතට ගන්නා බවද හෙතෙම තීන්දු කොට ඇත. එහෙත් මේවා හුදු දෙමළ ඩයස්පෝරාවේ ප්‍රකාශ විනා සැබෑ දෙමළ ප්‍රජාවගේ ප්‍රකාශ නොවන්නේය. ඔවුන් සැබවින්ම උත්සහ ගන්නේ මේ හරහා ආණ්ඩුවේ මර්දනකාරී පිළවෙතක් හෝ සිංහලයාගේ ප්‍රහාරාත්මක ප්‍රතිචාරයකි. එහෙත් එය නොලැබෙන බව දන්නා තාක් ඔවුන් මස් රාත්තලම ඉල්ලන්නේය.


කෙසේ  වෙතත් මෙම හැසිරීම හරහා මහින්දත්, මහින්දගේ ප්‍රජාවත් හොඳහැටි ප්‍රයෝජන ගැනීම ආරම්භ කර ඇත. ඔවුන් සුපුරුදු පරිදි දැන් "පේනවානේ මහින්ද මහත්තයා නැති වුණාම කොටි නැගිටින හැටි. ලොක්කා හිටියනම් එකෙක් කතා කරන්නේ නෑ" යැයි කියන්නේය. එය සැබෑ ජනමතය වුවත් ව්‍යාජය. එයට හේතුව නම් ජනතාව කතා කරන්නේ රට කෙරෙහි ඇති බිය නිසා වුවත් මහින්ද ඇතුළු පිරිසට මෙය සැබවින්ම සිය දේශපාලන පැවැත්ම සඳහා ලැබුණු ඉතාමත් යහපත් ප්‍රතිචාරයක් වූහ. ඒ නිසා මහින්ද ,විග්නේෂ්වරන් තව තවත් රටෙන් බාගයක් ඉල්ලන්නේ නම් කැමතිය. ඒ තුළ ඔහුගේ දේශපාලන පැවැත්ම ස්ථීර වන නිසාය. ඒ නිසා මහින්දගෙත්, විග්නේෂ්වරන්ගෙත් පැවැත්ම වෙනුවෙන් තව ඉදිරියටත් කොටි සිහිනෙන් හෝ පෙනිය හැක. එවිට තව තවත් මහින්ද රටට අවැසි වනු ඇත. එය මහින්දගේ පිරිසට පමණක් නොව දෙමළ ඩයස්පෝරාවට ද අවශ්‍ය වන්නකි. එතෙක් සංහිඳියාව රටට සිහිනයක් වනු ඇත. එ් නිසා මහින්දත්, විග්නේෂ්වරනුත් තකට තක, දොන් තකය.

No comments