Breaking News

ලැන්ටියාගේ චින්තනය 21

සයිටම් සහ අයිටම්


සයිටම් ආණ්ඩුවේද, විපක්ෂයේද,
පාර්ලිමේන්තුවේද,
පන්සලේද, පල්ලියේද, කෝච්චියේද, බුකියේද, කක්කුස්සියේද අයිටම් එකක් වී ඇත. මල පොතේ අකුරු බැරි උණුත් කතා කරන්නේ සයිටම් අයිටම් එක ගැනය. හාමුදුරුවෝ බණට කියන්නේද සයිටම් ගැනය. කොටින්ම කිව්වොත් කොල්ලෝ ගුඩු පනින්නේද සයිටම් කියාගෙනය. මොකක්ද මේ සයිටම්, ඇයි මේකට ගල්මුල් කියා ප්‍රථමයෙන් සොයා බැලිය යුතුය.


සයිටම් කියන ආයතනය මහින්ද රාජපක්ෂ සමයේ බිහිකරන ලද පෞද්ගලික විශ්වවිද්‍යාලයකි. රජයේ පූර්ණ ආශිර්වාදය මත ආරම්භ වූ සයිටම් වෙත රාජ්‍ය බැංකුවකින් ණය පහසුකම්ද ලබා දුන්නේ ඉදිරි ගමනට ආශිර්වාද කරමිනි. එයින් නොනැවතුණු මහින්ද ජනාධිපති ලේකම් කාර්යාලයට සයිටම් ලොකු තැන වූ නෙවිල් ප්‍රනාන්දු ඇතුළු ළමුන් දස දෙනෙකු කැඳවා සිය සුරතින්ම ශිෂ්‍යත්වද ලබාදීමට නිහතමානී පියකු විය. ඔහු සැබවින්ම අප්පච්චිය. එයට හේතුව වුයේ ඕනෑම වල්වලත්ත වැඩ කළ බූරුවකුට පවා පියකුගේ උණුසුම ලබාදීමය.


සයිටම් කඩය එලෙස රජයේ ආශිර්වාදය මැද ඉහළට යන විට මහින්ද සයිටම් එකට තෑගි ලෙස එවකට කොළඹ අධිකරණ මරණ පරීක්ෂක සතුවූ පුද්ගල අස්ථි කොටස්ද නොමිලේ දුන්නේය. ඒ අතර අභිරහස් ඝාතන වලට අයත් අස්ථි කොටස්ද විය. විශේෂයෙන් තාජුඩීන්ද ඒ තෑගි ගොඩේ සිටියේය. ඒ ආකාරයෙන් සයිටම් අයිටම් එකක් කළේ මහින්දය.


මෙහි ප්‍රශ්නය කුමක්ද?


සැබවින්ම මෙම ආයතනය සම්බන්ධයෙන් වන ගැටලුව වන්නේ වෛද්‍ය ශිෂ්‍යයකු විෂයෙන් එහි ඉගෙනගත් අයකුට ලැබෙන අධ්‍යාපනයත්, පුහුණුවත් කෙතරම් ප්‍රමිතිගතද යන්නයි. එනම් අද වනතෙක් මෙම ආයතනය වෙත රජයෙන් හෝ වෛද්‍ය සභාවෙන් ප්‍රමිති සහතිකයක් හිමිවී නැත. එය සයිටම් ආයතනය මගින් ඉල්ලා සිටියත් ලබාදී නැත්තේ ඇයිද යන්න අපට ගැටලුවකි. සයිටම් ආයතනයෙන් එළියට පැමිණෙන ශිෂ්‍යයෙකුට ප්‍රායෝගික පුහුණුව ලැබෙන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහල තුළමය. එය හරියට අලුතින් හොරකම් කිරීමට පුරුදු වන අයකුට පුහුණුවීම සඳහා ප්‍රථමයෙන් ඔහුගේම නිවසට ගේමක් දෙනවා වැනි වැඩකි. ඒ නිසා එය සාර්ථක ප්‍රායෝගික පුහුණුවක් නොවන බව බැලු බැල්මට පෙනෙන දෙයකි. විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් තීන්දුව අල්ලාගෙන බොහෝ දෙනෙක් උඩ පනින්නේ එය සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රමිති සහතිකයක් ලෙසිනි. එහෙත් සැබවින්ම අධිකරණයෙන් ලබාදී ඇත්තේ එම ආයතනය පිහිටුවීමට අදාල ක්‍රමවේදයේ නීත්‍යානුකූල භාවය මිස වෛද්‍ය ශිෂ්‍යන්ගේ දක්ෂතාවය පිළිබඳ ප්‍රමිති සහතිකයක් නොවන බව සැමදෙනා සිහිතබා ගතයුතුය.


කෙසේ වෙතත් ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුත්,විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුත් සයිටම් ගැන කෙළ හලන්නේ නැත. ඒ ඔවුන්ගේ දරුවන්ද එහි ඉගෙන ගන්නා නිසාය. එයට අපෙන් විරෝධයක්ද නැත. හේතුව ඔවුන් සයිටම් ආයතනය නැතත් විදෙස්ගත වී හෝ අදාල වෛද්‍ය උපාධිය ලබාගන්නා නිසාය.


අද සයිටම් ආයතනයට විරුද්ධව කෑ ගසන ජවීපේ සහෝදරයන්ගේ නායකයා වූ  විජේවීරද රුසියාවේ ලුලුම්බා සරසවියෙන් වෛද්‍ය උපාධිය ලබාගත් අයෙකි. ඒ නිසා ඔවුන් සැබවින්ම සයිටම් ආයතනයට විරුද්ධව කෑ ගසා තේරුමක් නැත. කළ‍යුත්තේ ආණ්ඩුවට බලපෑම් කොට මෙම පෞද්ගලික විශ්ව විද්‍යාලයට ප්‍රමිතියක් ලබාදීමය. එවිට වාර්ශිකව විදෙස් ගතවී වෛද්‍ය උපාධි ලබාගන්නා දරුවන් මෙරට ආයතනයකින් නිසි අධ්‍යාපනය ලබා වෛද්‍යවරු ලෙස එලියට එනු ඇත. එවිට රටෙන් පිට යන සල්ලිද ඉතුරුවනු ඇත. එය කිරීමට නම් සයිටම් ආයතනය අද තිබෙන තත්වයේ තැබිය යුතු නැත. වහාම රජය මැදිහත් වී අධීක්ෂණයකට ලක්කොට ඔවුන් ප්‍රමිතිගත කළ යුතුය. එසේ නැතිව රැල්ලට සයිටම් එකට විරුද්ධව කෑ ගසා තේරුමක් නැත. මහින්දටද මුල අමතක වී රැල්ලට හසුවී ඇත්තේ ඇඳුම් ඇඟලාගෙන දැයි අපිටද සැකයක් ඇත.

1 comment: