Breaking News

ලැන්ටියාගේ චින්තනය 22

අද වැලන්ටයින්. දැන් ඇති පිස්සුකලා ඔයා


අද වැලන්ටයින්ය. වැලේ වැල් නැතිව සිටි වුන්ද වැලන්ටයින් සමරන්නේ පට්ට ආදරවන්තයන් ලෙසය. ඒ නිසා ඉස්සෙල්ලාම කියන්නට ඇත්තේ වැලන්ටයින් සැමරීමට පෙර එල්ලෙන්න අත්තක් හොයා ගණින් කියාය.



කෙසේ වෙතත් අද දේශපාලන කතාව වැලන්ටයින් හරහාම පටන් ගැනීමට සිතුණේ මේ වන සිදුව ඇති අලකලංචි නිසාය. ආණ්ඩුවද වැලේ වැල් නැති පෙම්යුවලක් වැලන්ටයින් සමරනවා වැනිය. මේ ආණ්ඩුවේ ආදරය හදන්න වෙහෙසවූවෝ විශාලය. ජීවිතේ කිසිම දිනෙක එක්නොවන බව කියු පෙම් යුවළක් එක්කළා හා සමානය. මේ ප්‍රේමය ආරම්භයේදීම බොහෝ දෙනා හඳහන් බලා කීවේ මෙය හරියන දීගයක් නොවනවා කියාය. ඒ නිසා වහාම මේ දීගය නතර කළ යුතු බව අනාවැකිකරුවෝ කීහ. ඒත් අප එය විශ්වාස නොකළේ ‘ආදරයට කොයිදෝ බාදා නැත්තේ‘ යන කතාව අසා සිටි නිසාය. මේ නිසා අප මේ ආදර කතාවට තව තවත් හුරේ දමා අප්පුඩි තැලුවේ ආරම්භයේ තිබූ ජවනිකා හරි මිහිරි නිසාය. එහෙත් ඒ මිහිරි බව වැඩිකලක් අපිට තබා ගැනීමට මේ පෙම් යුවල ඉඩදුන්නේ නැත.



පෙම් යුවලට සපෝට් එකට ආ ඇතැම් චරිත පිස්සු කෙලින්නට ගත්තේ එළිපිටය. ඇතැම් පිස්සු මේ ආදර කතාව ලස්සන කරන ජවනිකා විය හැකි යැයි අපි සිතුවත් ඒවා සැබවින්ම පෙම්යුවලට කෙලවෙලා යන අවස්ථා විය. මේ නිසාම අපි මේ පෙම්‍ යුවලට කට කැඩෙනතෙක් කීවේ ඔය වටේ ඉන්න උන් කොහොමටවත් මගුලට වද්දා ගන්න එපා යැයි කියාය. එහෙත් පෙම්යුවද ඒවා තඹයකට මායිම් නොකළේය. ඔවුන්ගේ පිළිතුර වුණේ අපිට සපෝට් කළේ ඔයාලනේ කමක් නෑ යන මතයකය. මේ නිසාම ඇතැම් චරිත පෙම්වතා ඉදිරිපිට පෙම්වතියගේ පස්ස මිරිකීමටත්, පපුව මිරිකීමටත් උත්සහ කළ අවස්ථා අනන්ත අප්‍රමාණ ඇත. එහෙත් පෙම්වතිය ගමේ කෙල්ලෙක් නිසා හැදියාවෙන් ජීවිතය බේරාගත්තේය. මේ දේවල් පෙම්වතා දැන සිටියත් ඔහු වචනයක් කතා කළේ නැත. ඒ නිසා මේ දේවල් පෙම්වතාගේ අනුදැනුම මත සිදුවුණාද යන්නත් අපිට සැකයක් ඇත.


කෙසේ වෙතත් මේ ආදර අන්දරයට වසර දෙකක් පිරී ඇත. දැන් පිස්සු නැටුවා ඇතිය. තවමත් අනාවැකි කීවෝ බලා සිටින්නේ මේ ආදරයට කණකොකා හඬලන තෙක්ය. ඒ නිසා දැන්වත් මේ ආදරය ගැන වගකීමෙන් සිතිය යුතුය. එසේ සිතා හොඳ මගුලක් කෑ යුතුය. එසේ කා සුරතල් දරුපැටියකු මේ පොලොවට බිහිකළ යුතුය. ඔහු යහපාලන කුමාරයා විය යුතුය. එසේ නැතුව ගස්ගල් යට නිදිවදින්නට ගොස් දරුවා බිහිකළ යුතු නැත. එසේ වුවහොත් ප්‍රමිතියක් නැති දරුවකු හැදී ඌ අඩුමාසයෙන් ඉපදෙන්නට හැකියාව ඇත. එවිට ඌ අංගවිකල පවා විය හැක.



ඒ නිසා හදිසිවිය යුතු නැත. කරන දේ කල්පනා කොට කළ යුතුය. එක එක්කෙනා කරන්නම් පලියට වැලන්ටයින් සැමරිය යුතුද නැත. දැන්වත් කල්පනාවෙන් මේ ආදරය ඉදිරියට කරගෙන ගියොතින් අපිට සතුටක් ඇත. නැතහොත් සිදුවන්නේ කවදා හෝ මේ ආදරයට උදව් කළේ උඹලා යැයි කියා රටේ එවුන්ගෙන් කතා ඇසීමටය.

No comments