Breaking News

ලැන්ටියාගේ චින්තනය 23

මෛත්‍රී දැන් කඩමු මකුළු දැල්


කැබිනට් සංශෝධනයක් අද හෙටම සිදුවන බව පසුගිය කාලය පුරාම පුවත්පත් වලත්,වෙබ් අඩවි වලත් පට්ට පතුරු ගැසුවේය. එපමණක් නොව එම සංශෝධනයේදී ඇමති පට්ටම් ගැලවෙන කිහිප දෙනෙකුගේම නම් ගම්ද ඒ පුවත් හරහා එළියට ආවේය. එහෙත් එය කතාවක් මිස අදටත් එවැනි සංශෝධනයක් කිරීමට හෝ එවැනි වෙනසක් ඇති කිරීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තීරණය ගෙන නැත.


ඇත්තටම කැබිනට් සංශෝධනයක් අත්‍යවශ්‍යද? එසේ කළ යුතුවන්නේ ඇයි? එසේ නම් වෙනස් කළ යුතු වන්නේ කුමන අමාත්‍යංශද?


කැබිනට් සංශෝධනයක් අත්‍යවශ්‍ය බව පිළිගන්නේ අප පමණක් නොවේය. විශේෂයෙන් අමාත්‍යවරුද පිළිගන්නා දෙයකි. ඇතැම් අමාත්‍යංශවල ක්‍රියාකාරකම් නිසා තවත් අමාත්‍යංශ බොහොමයකට වැඩකර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇත. විශේෂයෙන් මුදල් අමාත්‍යංශය විසින් ගෙනයන ඒකාධිකාරය හේතුවෙන් බොහෝමයක් අමාත්‍යංශ යන්නේ හොම්බෙනි. ඇතැම් අමාත්‍යංශ වෙත විශාල වශයෙන් මුදල් වෙන්කිරීමත් ඇතැම් අමාත්‍යංශ හිතා මතා මගහැරීමත් නිසා විශාල වශයෙන් ගැටුම් රැසකට මුහුණ දීමට රජයට සිදුවී ඇත. එපමණක් නොව මුදල් අමාත්‍යංශයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්‍තිය නිසා මහජනතාවටද ගිනි පේල්ලෙන් බැට කන්නට සිදුවී ඇත. එහෙත් මුදල් අමාත්‍යංශයේ මේ හැසිරීම් නැවතීමක් නැත.


මුදල් අමාත්‍යංශයට පසුව මීළඟට දූෂිතම අමාත්‍යංශය වන්නේ මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය බව කවුරුත් දන්නා දෙයකි. රාජපක්ෂ යුගයේදී මහින්දට එල්ලවූ බරපතල චෝදනාවක් වන්නේ උපදේශකයන් තබා ගැනීමය. ඒ බව පාර්ලිමේන්තුවේදී විපක්ෂය නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල පවා විමසූ හැටි අද වගේ මතකය. එහෙත් කරුමය නම් එම කිරිඇල්ලම මේ ආණ්ඩුවේදී උපදේශකයන් රැලක් යොදා ගනිමින් පඩි ගෙවන්නේ "මට මතක නෑ" තියරියට අනුවය. කෙසේ වෙතත් මෙවැනි දේ නිසා දැඩි ලෙස අසරණ වන්නේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විනා වෙන කවුරුවත් නොවේය. විශේෂයෙන් යහපාලනය සඳහා දිවුරා පොරොන්දු වූ ඔවුන් දෙදෙනා යටතේ මෙවැනි දේ සිදුවීම සැබවින්ම ඔවුන්ට කැළලක් වී ඇත.


එම අමාත්‍යංශ වලට අමතරව විශේෂයෙන් හාල් ගැටලුව විසඳීමට විෂය භාර අමාත්‍යවරයා කල් මැරීම, විදුලි බල ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන යම් යම් ගැටුම්, විල් පත්තු මහා විනාශය ආදී කාරණා හේතුවෙන් ඒ ඒ අමාත්‍යංශ කෙරෙහි ඇත්තේ විශ්වසයක් නොව බිඳී ගිය සැකයෙකි. මේ නිසා බොහෝමයකගේ අපේක්ෂාව වී ඇත්තේ හිතා මතා සිය වගකීම පැහැර හරින අය සිය අමාත්‍යංශ වලින් පලවා හැරිය යුතුයි කියාය. ඒ ස්ථාවරයේම ජනාධිපතිවරයාද ඇති බවට හෙළි වුයේ එතුමා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් නිසාය. "වැඩ කරන්න බැරි නම් යන්න පුළුවන්" යැයි කීවේ ඒ නිසාය. එහෙත් අපිට කීමට ඇත්තේ "වැඩ කරන්න බැරි උන් එලවන්න පුළුවන්" කියාය.


කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ දූර කාලයෙන් හරි අඩක් ඉක්ම ගොස් ඇති නිසා ඔහුට හැරී බලන්නට කාලය උදාවී ඇතැයි අප සිතන්නේය. එසේ හැරී බලා මග දිගට සිදුවී ඇති අඩුපාඩුත්, සිදුවෙමින් පවතින අඩුපාඩුත් සොයා බලා ඒවා නිවැරදි කරන්නේ නම් එය යහපත් අනාගත පැතුමකට සුබ සලකුණක් වනු ඇත. එසේ නොවූවොත් සිදුවන්නේ අනාගත පරපුර අතීතකාමයට වෛර කිරීම පමණි. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කළ හැක්කේ මෛත්‍රීට මිස වෙන කිසිවකුට නොවේය. මෛත්‍රී යහපාලනයේ කැඩපතය. ඒ කැඩපත පළුදු කරන්නට දැන හෝ නොදැන උත්සහ කරන්නන් මර්දනය කළ යුතුය. එසේ නොවූවහොත් මෛත්‍රීද මහින්ද ගානට වැටෙනු ඇත.


ඒ නිසා මෛත්‍රී දැන් කළ යුත්තේ මේ කැබිනෙට්ටුවේ දුවිලි, මකුළු දැල් පිහිදා ඉදිරි ගමන ආරම්භ කිරීමය. නැතහොත් කාලයාගේ ඇවෑමෙන් කැබිනෙට්ටුවේ මකුළු දැල් මෛත්‍රීගේ ඇඟේද බැඳෙන්නට ඉඩ තිබෙනු ඇත.

1 comment:

  1. are probably keeping an eye on how to cut costs. One of the blogs I follow is Life As Mom. In a recent post Jessica writes about ways to make your holiday ententairing more budget

    ReplyDelete